ඡන්ද හිමි නාමලේඛණය

එක් එක් වර්ෂයට අදාලව ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා හිමිකම් ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඡන්ද හිමි නාමලේඛණය ලෙස සරලව හැඳින්විය හැකිය. ඡන්ද හිමි නාමලේඛණයට පුද්ගලයන් ගේ නම් ඇතුලත් කිරීම සිදුකරන්නේ එම කාර්ය සඳහා අදාල වන නීතිමය ලියවිලි වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අදාල කරගනිමිනි. ඡන්ද හිමි නාමලේඛනයට නමක් ඇතුලත් කර ගැනීමට තිබිය යුතු සුදුසුකම්, නම් ඇතුලත් කරන ආකාරය, ඒ සඳහා ගතයුතු පියවර, තොරතුරු දත්ත ලබා ගැනීමට අවශ්‍ය ආකෘති පත්‍ර ආදි සියළු තොරතුරු හා නීතිමය උපදෙස් 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ දක්වා තිබේ. එම පනත මගින් ලබා දී ඇති උපදෙස් අනුව මැතිවරණ කොමිෂන් සභාව මගින් සෑම වර්ෂයකම ඒ ඒ වර්ෂයට අදාල ඡන්ද හිමි නාමලේඛණය සැකසීම සිදුකරයි. 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත 2021 වසරේදී 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත මගින් සංශෝධනයට ලක්වීම නිසා 2022 වසරේ සිට වාර්ශික ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන සිදුකිරීමේදී එහි අඩංගු නීතිමය ප්‍රතිපාදන අදාල කරගනු ලබයි. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා 1946 සැප්තැම්බර් මස 26 දින බලාත්මක කරන  1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍යසභා ආඥාව ඡන්ද හිමිනාමලේඛනය සැකසීම සඳහා මූලික අතර එය වඩාත් විධිමත් කිරීම සදහා 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ හඳුන්වාදෙන ලදි. ඒ අනුව වත්මන් ඡන්දහිමියන් ලියා පදිංචි කිරීමේ මූලික කටයුතු එම පනතට මගින් නිර්මාණය වි තිබේ. (ඡන්ද හිමියන් ලියාපදිංචියට අදාල නීති යටතේ මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අන්තර්ගත කර ඇත)

වාර්ශිකව සිදුවන ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ කටයුතු ආරම්භ වන්නේ සෑම වසරම පෙබරවාරි මස 01 වන දිනෙනි. 2022 වසරට පෙර මෙම දිනය වූයේ ජුනි මස 01 වනදාය. එම දිනය ඡන්ද හිමියන් ගණන් ගන්නා දිනය ලෙස හඳුන්වයි. ඡන්ද හිමියන්ගේ දිනය ලෙස ජනතාව අතර ප්‍රකට වී පවතින්නේද මෙම දිනය වන පෙබරවාරි මස පළමුවනදාය. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඡන්ද හිමියකු ලෙස ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කරවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරිය යුතු දිනය වන්නේද එම දිනයයි. එනම් අදාල වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දිනට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එම වසරට අදාලව ඡන්ද හිමියකු ලෙස ලියා පදිංචි විය හැකිය. මෙලෙස එක් වර්ෂයකදී ලියා පදිංචි වීම එම වර්ෂයට පමණක් අදාල නිසා ඊලඟ වසරේ ගණන් ගන්නා දිනය එළඹුනු පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන උපදෙස් අනුව එම වර්ෂයට අදාලව යලි ලියාපදිංචි විය යුතුය. මෙම ඡන්ද හිමියන් ලියා පදිංචි කිරීමේ ක්‍රියාවලිය මෙලෙස අඛණ්ඩව සෑම වසරකම සිදුවන ක්‍රියාවලියකි.

 

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *