ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීමට අවශ්‍ය සුදුසුකම්.

යම් පුද්ගලයකුගේ නම ඡන්ද හිමි නාමලේඛණයට ඇතුලත් කරන්නේ ඔහු හෝ ඇය ගණන් ගන්නා දිනය වන විට සාමාන්‍ය ලෙස පදිංචි වී සිටින නිවසට අදාල ලිපිනය යටතේය. ඒ අනුව ගණන් ගන්නා දිනය වන විට තමා සාමාන්‍ය පදිංචි ස්ථානයට අදාල වන පරිදි ඡන්ද හිමි නාමලේඛණයට තම නම ඇතුලත් කිරීමට සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයිතියක් පවතී. නමුත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කොට තිබිය යුතුය. එනම්  නුසුදුසු කම් වලට යටත් නොවී සිටිය යුතුය. මෙම අවශ්‍ය සුදුසු කම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIV වැනි පරිච්ඡේදයේ 88 හා 89 වන ව්‍යවස්ථාව සහ 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ සඳහන් කොට තිබේ. ඒ අනුව ඡන්ද හිමියකු ලෙස ලියා පදිංචි වීම සදහා

 

1. ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වීම.

2. අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා සුදුසුකම් ලැබීමේ දිනය වන පෙබරවාරි මස 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම.

3. අදාළ ලිපිනයේ සාමාන්‍ය පදිංචිකරුවෙකු වීම.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවේ සඳහන් යම් නුසුදුසුතාවයකට පෙබරවාරි මස 01 දින වන විට ලක් නොවී ඇති අයෙකු වීම. (බල පවත්නා යම් නීතියක් යටතේ සිහිවිකල් තැනැත්තෙකු නොවීම, ගත වූ වසර හතක කාලය තුළ අධිකරණ ක්‍රියාමාර්ග අනුව දඬුවම් ලබා බන්ධනාගාර ගතව මාස 6ක් හෝ ඊට වැඩි කාලයක දඬුවමක් විඳින හෝ විඳ සිටි තැනැත්තෙකු නොවීම, මැතිවරණ වලට අදාළ වරදකට වරදකරුවෙකු නොවීම වැනි)

යන සුදුසුකම් සම්පූර්ණ කොට තිබිය යුතුය.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සදහා මුල්වූ 1946 සැප්තැම්බර් මස 26 දින බලාත්මක කරන ලද 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍යසභා ආඥාවේ 4 වැනි වගන්තිය යටතේ ඡන්ද හිමියකු වීමේ මූලික සුදුසුකම් දක්වා තිබේ. වර්තමානයේ භාවිතා වන්නේ එහි විකාශණයකි.

 

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඡන්දහිමියන් ලියා පදිංචි කිරීමේ ඉතිහාස කතාව යටතේ දක්වා ඇත.

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *